Saturday, April 06, 2013

එකමත්තෙක රටක 1947

"මට ඩ්‍රයි වර්නන් එකක්!" කියමින් අසල තිබුන බංකුවක ඉඳගතිමි. මොහොතක පමාවකින් මා ඉදිරියේ වීදුරුවකට මගේ ප්‍රියතම විස්කි වර්ගය වැක්කෙරෙන්නට විය. වෙනදා බොබ් ප්‍රිට් ගේ ගැඹුරු කටහඬින් සංගීතමත් වුන එඩ් ගේ තැබෑරුම පුරා අද බෙට්සි සින්ක්ලෙයාගේ මියුරු කටහඬ සමග ජෑස් සංගීතය. "ඇත්තටම ඇගේ කටහඬ අද්විතීයයි". මා මටම කියාගන්නා ගමන් විස්කි වීදුරුව හිස්කලෙමි. ගිමහාන ඍතුව මෑන්හටන් නගරය මේ වෙලාවට තැබෑරුම් වලට කොටු කරති. ඉදිරිපස නැවැත්වූ මාගේ 1947 කැඩිලක් 62 වර්ගයේ කාරය රථගාල ට රැගෙන යාමට පැමිණි කොලුවාට ඩොලරයක් සමගින් එහි යතුර ලබාදීමි.

තැබෑරුම පුරාවට කාන්තාවන් ඔවුන් ගේ මහත්වරුන් සමග කතාබහ කරමිනි. තරුණ ගැටිස්සියන් හා කොලු ගැටව් පමණක් නොව නෝනා මහත්වරුන් ද පසෙක සිට අපුර්ව ජෑස් සංගීතයේ තාලයට පාද තබති. ඒ අතරින් මා සොයනා මුහුණ දැකගැනීමට මම උත්සහ කලෙමි. මාගේ
කබායේ සාක්කුව තුල මෙතෙක් වෙලා රුවාගෙන සිටි පොලොරොයිඩ් ගණයේ පින්තුරය මම එලියට ගෙන ඒ දෙස මදක් වේලා බලා සිටියෙමි. පින්තුරයේ සිටි ඈ ඉතාමත් රූබර ගැටිස්සියකි. මෑන්හටන් නගරය පුරාම කරක් ගසා සිටි මා එවන් රූපයක් උරුම කාන්තාවක් වෙන කෙදිනකවත් දැක තිබුනා දැයි මට මතක නැත. කොටට කපන ලද රන්වන් පැහැ ඇගේ වරලස හිරුරැසින් පාටවුන ඇගේ මුහුණට මනා ලස්සනක් ගෙන දී තිබුණි. ඈ වෙනත් නගරයක සිට මෙහි පැමිණියක විය යුතු යැයි මට සිතුනි. 

"තවත් සැරයක්" මා ඉදිරියේ සිටි බීම සේවක තරුණයාට මම අතින් සන් කලෙම්. ඔහු නැවත වරක් මගේ වීදුරුව පුරවන්නට විය. "නාදුනන කෙනෙකු සොයාගන්න නම් හොඳම ක්‍රමය ඒ පැත්තේ ඇති තැබෑරුම හරියේ විමසීමයි" මා තරුණ අවදියේ මගේ පියා මට දුන් ඔවදන මට සිහියට නැගිණි. අඩක් පිරුණු විස්කි වීදුරුව අතට ගත් මම සේවක තරුණයා දෙසට හැරුණි. "මම මේ අදුරන කාන්තාවක් හොයන ගමන්", විස්කි වීදුරුව හිස් කොට මම ඔහුට පැවසීමි. "අපි හැමෝම හොයන්නේ එහෙම අය නොවේද?" යැයි සරදම් සිනාවක් සමග ඔහු මගෙන් නොඅසාම වීදුරුව නැවත පිරෙව්වේය. "ඇය මාව මුණගැහෙන්නට මෙතැනට එනවා කීවා. මා ඇයව හුඟ කාලෙකින් දැක නැහැ. මේ ඉන්නේ ඇය" කියමින් මා අත වූ පින්තුරය ඔහු වෙත දිගුකලෙමි. පින්තුරය දෙස ඇස මදකට යොමු කල ඔහු, "ඔබ ගොඩක් වාසනාවන්තයි. පින්තුරේටත් වඩා ඇය හැබැහින් ලස්සනයි" කියමින් තම ඇස් වලින් මගේ පිටුපස ට සන් කලේ ය. 

ඇත්තටම ඇගේ පින්තුරයටත් වඩා ඇය පියවි ඇසට සුන්දර ය. මා අතැති පින්තුරය රැගෙන ඇත්තේ මීට අවුරුදු දෙක තුනකට පෙර බව මට සිතුනි. රන් පැහැති වරලස නවතම විලාසිතාවට හැඩ කර තිබුණි. ආකර්ශනීය රතු පැහැති ගවුමකින් සැරසී සිටි ඈ එයට ගැලපෙන පාටකින් ම තොල් දෙක සරසා තිබුණි. සුමිහිරි ජෑස් සංගීතය මගෙන් ඈතින් ඈතට ගොස් නාසුනාක් සේ මට දැනිණ. කාලය මා අවට නැවතී ගියාක් මෙනි. මා ඇය දෙස ඇසිපිය නොහෙලා කොතරම් වෙලාවක් බලා සිටින්නට ඇත්දැයි මා නොදනිමි.


ඊළඟ නිමේෂයේදී අප දෙදෙනාගේ නෙත් එකිනෙක හා ගැටිණ...

-මතු සම්බන්දයි-



4 comments:

  1. මටත් ඔහොම අද්දැකීමක් තියෙනවා ඒකා ...ඇත්තටම ලස්සනයි..
    මම ගෑනු පස්සේ යන මිනිහෙක් නෙවේ නමුත් ඒ රූපයට කැමතියි
    මම..රූපයට පමණයි ...! ගරු කල යුතු තරම් ගුණයක් නැති තරම් ...


    මීළඟ කොටස එන තෙක් ඇඟිලි ගනිමින් බලා සිටිමි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්... :)

      Delete
  2. අපූරු කතාවක් වගේ.පරිවර්තනයක්ද? බලමුකෝ ඉතිරි ටිකත් කියවලම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මඩි අයියේ... කියවලාම බලන්නකෝ. :)

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.