කෝ විසිල් එක? බල්ටිය? අවුරුදු දෙකකට පසුව ඇති දැවැන්ත විදිහට ඒකාධිපතියා නැවත කරලියට. හික්ස්!
හරියටම මීට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2013 ක්වූ මැයි මස පළමු වෙනිදා වැඩ (නො)කරන ජනතාවට පොඩි කින්ඩියක් දාලා ලියපු පොස්ට් එකෙන් පස්සේ මම බ්ලොග් එක ලියන එක නැවැත්තුවා. අද හවස තුසියා (මගේ ඔෆිසියේ එල ෆිට් එකක්) එක්ක ප්ලේන්ටියක් ගහන්න දෙමටගොඩ පාලම යට කඩේට යනකන් ම ආයෙත් මේක ලියන්න පටන්ගන්න ඕනේ කියලා මට හිතුනෙම නැහැ. පාලම උඩ නවත්තලා තිබ්බ සී.ටී.බී බස් සෙට එක දැක්කම මට මගේ අන්තිම පොස්ට් එක මතක් වෙලා "මචන් හරියටම මීට අවුරුදු දෙකකට කලින් මම බ්ලොග් එක ලියන එක නැවැත්තුවා" කිව්වා ම පොර තමයි කිව්වේ ආයෙත් සැරයක් ඔන්න ඕක ලියන්න පටන් ගනින් කියලා. මම මේක ලියද්දිත් මූ මගේ එහාපැත්තේ ඉඳන් කෙල්ලෙක් ගේ හඳහන බලනවා. (ඒ ගැන විස්තර පස්සේ කියන්නම් කෝ) හුකෑස්! දැන් මූට හිතෙනවා ඇති මට මීක පටන් ගන්න කිව්වට වඩා හොඳයි හරහට පොල්ලක් බැඳන් ලිඳේ පැන්න නම් හොඳයි කියලා.
මේ පාරත් හැබැයි කියලා වැඩක් නැහැ බස් පිටින් පුරවගෙන දේශප්‍රේමී, දේශමාමක මාමලා නැන්දලා බුරුතු පිටින් බෝතල් කාලයි බත් පැකට් එකයි ගන්න පෝලිමේ ගම් නියම් ගම් අතහැර කොළඹ ඇවිල්ලා. යකෝ හෙන ගේමක් දීල මැයි පළවෙනිදා නිවාඩුවක් අරන් දීල තියෙන්නේ කට්ට අව්වේ වේලෙන්න ද?
කරුමෙක මහත! බඩ ගින්දරේ වේලෙන දරු පැටව්. අව්වට වැස්සට තෙමෙන හිස්ගෙඩි! කවදාවත් නැති දේශාලය මේ මෝඩ ඔළුගෙඩි ඇතුලේ හැමදාම තිබුනා නම්... (තුසියා පවසයි)
හැබැයි මෛත්‍රී මාමා පොරොන්දු වෙච්ච විදිහට විධායක බලතල කප්පාදු කරලා හිටං මහා මැතිවරනෙකට ලක ලැස්ති වෙන පාටයි. ඊයේ පෙරේදා මම ඔරුගොඩවත්ත පැත්තේ තාප්පෙක දැක්කා "දුන් පොරොන්දු ඉටුකළ ජනපති" ද මොකක් ද කියලා පෝස්ටර් එකක් ගහලා තියෙනවා. යකෝ කරන කරන වැඩක් ගානේ පෝස්ටර් ගහපු හින්දා නේ ගිය ආණ්ඩුවේ උන්දැලා ව ගෙදර ඇරියේ... හැබැයි ගිය ආණ්ඩුවේ එකෙක් ගෙම වැඩක් ද දන්නේ නැහැ. දැන් ඉතින් පාලක පක්ෂයයි විපක්ෂයයි එක පැත්තේ ලු නේ.
ඔන්න තුසියා උඹට දුන් පොරොන්දු ව ඉටු කළා. බ්ලොග් එක ආයෙත් ලියන්න පටන් ගත්තා. හරියටම මැයි පලවෙනි දා. ඒකාධිපතියා යලි අවදි වේ. ලෝල් සහගතයි.
Friday, May 01, 2015
Wednesday, May 01, 2013
සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක්!
අද හවසට කැම්බල් පාක්, සිරිකොත, බී.ආර්.සී පැත්තේ කල එළි බහින්න ලක ලෑස්ති වෙලා ඉන්න සකල ශ්‍රී ලංකා වාසී මහජනතාව ට ම සුභ ම සුභ සුභ ම සුභ මෝඩයන් ගේ දිනයක් කියලා මුලින් ම ඔන්න හදවතින් ම ප්‍රාර්ථනා කරනවා!
ඔබතුමන් ලා, තුමියන් ලා වැනි දේශප්‍රේමී, දේශමාමක, අධිරාජ්‍ය විරෝධී බලවේග ඉන්න තාක් කල් ශ්‍රී ලංකාව ට බඩුම තමයි.
මොන බම්බුවකට ද අපිට Ass-චර්යය පෙන්න පෙන්න, ගුද වාතයටත් බදු පටව පටව, ඉපදෙන්න ඉන්න එකා එකී ලවත් ණය කරව කරව දවස් 364 ම ආතල් එකේ ඉඳලා අද විතරක් ජනතාව ගේ දාඩිය සුවඳ බලන්න මොන්ටෙරෝ එකෙන්, චොපර් එකෙන් එන එවුන් ගේ කතා වලට අප්පුඩි ගහන්න, විසිල් ගහන්න, චියර් කරන්න මේ පට්ට අව්වේ වෙලෙන්නේ???
අද උඩ පැන පැන චියර් එක දෙනවා, අපේ යුග පුරුෂයා ට ජය වේවා! කියලා. හෙට අනිද්දා ලයිට් බිල ආවම උගේ අම්මගේ අප්පගේ ඉඳන් හත් මුතු පරම්පරාවට ම ක්‍ෂය රෝගේ හැදෙනකන් බනිනවා.
ඇයි බොල ඔලමොට්ටල වරුනේ, නිකන් නිවාඩුවක් ලැබෙන එකේ තමුන් ගේ නෝනා, දරු මල්ලෝ එක්ක ගෙදර ට වෙලා ආතල් එකේ හිටපල්ලා කෝ ලේ කෝප කරගන්නේ නැතුව...
Thursday, April 25, 2013
බ්ලොගර් ආවම, වැඩක් නැති කොට කම්මැලිකමට ලියන කවි
මුවොදොරක්.
ඒ මත බංකු පේළියක්.
එයින් එක බංකුවක් උඩ සිටියි මරු ජෝඩුවක්.
අතින් අත පටලාගෙන, මුවට මුව ලං කරලා, දුන්නා එක හාදුවක්.
තවත් එක බංකුවක් උඩ, දුක්බරිත මුහුණකින්, සයුර දෙස දෙනෙත් යොමු, රූ පිරි ලඳක්.
මෙව්වා බලමින්, ඉස්සෝ වඩයක්, නාන් රොටියක් ගිලිනවා මිස මට ත් තිබුනෙම නැහැ නේ හෆ්ෆේ වෙන වැඩක්...
Saturday, April 13, 2013
අවුරුදු පැතුම!
ඔබ සැමට සාමයෙන් සතුටින් පිරුණ, කිරියෙන් පැණියෙන් ඉතිරුණ, කැවුමෙන් කොකිසෙන් රසවුන, බත බුලතින් සරුවුන, ධාන්‍ය, ධනය නෙක මල්, පලතුරු පිරි ජය සිරි සුභ නව වසරක් වේවා!
Saturday, April 06, 2013
එකමත්තෙක රටක 1947
"මට ඩ්‍රයි වර්නන් එකක්!" කියමින් අසල තිබුන බංකුවක ඉඳගතිමි. මොහොතක පමාවකින් මා ඉදිරියේ වීදුරුවකට මගේ ප්‍රියතම විස්කි වර්ගය වැක්කෙරෙන්නට විය. වෙනදා බොබ් ප්‍රිට් ගේ ගැඹුරු කටහඬින් සංගීතමත් වුන එඩ් ගේ තැබෑරුම පුරා අද බෙට්සි සින්ක්ලෙයාගේ මියුරු කටහඬ සමග ජෑස් සංගීතය. "ඇත්තටම ඇගේ කටහඬ අද්විතීයයි". මා මටම කියාගන්නා ගමන් විස්කි වීදුරුව හිස්කලෙමි. ගිමහාන ඍතුව මෑන්හටන් නගරය මේ වෙලාවට තැබෑරුම් වලට කොටු කරති. ඉදිරිපස නැවැත්වූ මාගේ 1947 කැඩිලක් 62 වර්ගයේ කාරය රථගාල ට රැගෙන යාමට පැමිණි කොලුවාට ඩොලරයක් සමගින් එහි යතුර ලබාදීමි.
තැබෑරුම පුරාවට කාන්තාවන් ඔවුන් ගේ මහත්වරුන් සමග කතාබහ කරමිනි. තරුණ ගැටිස්සියන් හා කොලු ගැටව් පමණක් නොව නෝනා මහත්වරුන් ද පසෙක සිට අපුර්ව ජෑස් සංගීතයේ තාලයට පාද තබති. ඒ අතරින් මා සොයනා මුහුණ දැකගැනීමට මම උත්සහ කලෙමි. මාගේ
කබායේ සාක්කුව තුල මෙතෙක් වෙලා රුවාගෙන සිටි පොලොරොයිඩ් ගණයේ පින්තුරය මම එලියට ගෙන ඒ දෙස මදක් වේලා බලා සිටියෙමි. පින්තුරයේ සිටි ඈ ඉතාමත් රූබර ගැටිස්සියකි. මෑන්හටන් නගරය පුරාම කරක් ගසා සිටි මා එවන් රූපයක් උරුම කාන්තාවක් වෙන කෙදිනකවත් දැක තිබුනා දැයි මට මතක නැත. කොටට කපන ලද රන්වන් පැහැ ඇගේ වරලස හිරුරැසින් පාටවුන ඇගේ මුහුණට මනා ලස්සනක් ගෙන දී තිබුණි. ඈ වෙනත් නගරයක සිට මෙහි පැමිණියක විය යුතු යැයි මට සිතුනි.
"තවත් සැරයක්" මා ඉදිරියේ සිටි බීම සේවක තරුණයාට මම අතින් සන් කලෙම්. ඔහු නැවත වරක් මගේ වීදුරුව පුරවන්නට විය. "නාදුනන කෙනෙකු සොයාගන්න නම් හොඳම ක්‍රමය ඒ පැත්තේ ඇති තැබෑරුම හරියේ විමසීමයි" මා තරුණ අවදියේ මගේ පියා මට දුන් ඔවදන මට සිහියට නැගිණි. අඩක් පිරුණු විස්කි වීදුරුව අතට ගත් මම සේවක තරුණයා දෙසට හැරුණි. "මම මේ අදුරන කාන්තාවක් හොයන ගමන්", විස්කි වීදුරුව හිස් කොට මම ඔහුට පැවසීමි. "අපි හැමෝම හොයන්නේ එහෙම අය නොවේද?" යැයි සරදම් සිනාවක් සමග ඔහු මගෙන් නොඅසාම වීදුරුව නැවත පිරෙව්වේය. "ඇය මාව මුණගැහෙන්නට මෙතැනට එනවා කීවා. මා ඇයව හුඟ කාලෙකින් දැක නැහැ. මේ ඉන්නේ ඇය" කියමින් මා අත වූ පින්තුරය ඔහු වෙත දිගුකලෙමි. පින්තුරය දෙස ඇස මදකට යොමු කල ඔහු, "ඔබ ගොඩක් වාසනාවන්තයි. පින්තුරේටත් වඩා ඇය හැබැහින් ලස්සනයි" කියමින් තම ඇස් වලින් මගේ පිටුපස ට සන් කලේ ය.
ඇත්තටම ඇගේ පින්තුරයටත් වඩා ඇය පියවි ඇසට සුන්දර ය. මා අතැති පින්තුරය රැගෙන ඇත්තේ මීට අවුරුදු දෙක තුනකට පෙර බව මට සිතුනි. රන් පැහැති වරලස නවතම විලාසිතාවට හැඩ කර තිබුණි. ආකර්ශනීය රතු පැහැති ගවුමකින් සැරසී සිටි ඈ එයට ගැලපෙන පාටකින් ම තොල් දෙක සරසා තිබුණි. සුමිහිරි ජෑස් සංගීතය මගෙන් ඈතින් ඈතට ගොස් නාසුනාක් සේ මට දැනිණ. කාලය මා අවට නැවතී ගියාක් මෙනි. මා ඇය දෙස ඇසිපිය නොහෙලා කොතරම් වෙලාවක් බලා සිටින්නට ඇත්දැයි මා නොදනිමි.
ඊළඟ නිමේෂයේදී අප දෙදෙනාගේ නෙත් එකිනෙක හා ගැටිණ...
-මතු සම්බන්දයි-
Friday, March 01, 2013
පාළු වෙලා මගේ ලෝකේ...
බීප්-බීප්, බීප්-බීප් SMS හඬ...
දවස් තුන හතරක ඉඳන්
පැයකට එකක් ගානට අඩුවෙලා!
ගෙදර ආවා...
ඉන්ටනෙට් වැඩ නැහැ...
තැන්කියු!
මොකුත් නැහැ. FB පැත්තේ ආවා.
කමු ද?
ඔයා කෑව ද?
මොකුත් නැහැ. නිකන් ඉන්නවා.
ඇඟ හෝදලා එන්නම්.
ඇඳට ආවා. නිදියගමු ද?
ගුඩ්නයිට් :*
පසුවදන
ජීවත් වෙන්න ආදරය කොයිතරම් නම් ඕනැද... තමුන් ට අයිති අවධානය ටික කාලෙකට හරි වෙන අය විසින් හොරාගත්තම තමුන් ට දැනෙන්නේ කොහොමද? මට දැනුනේ මෙහෙමයි...
Monday, February 11, 2013
ගෙදරින් කෑම හා කඩෙන් කෑම! - ඒකා'ස් සතුටින් දිවිය ට මග - #02
ගෙදරින් ඇතිතරම් රහට කන්න ලැබෙනවා නම්...
පිටින් කන්නේ මොකට ද?
අද කාලේ පත්තරයක් බැලුවත්, ගොසිප් වෙබ් පේජ් එකක් බැලුවොත් අනියම් කේස් එකක් තියෙනවා ම තමයි. ඒ වගේම බඩු පොට් රේඩ් කරපු සීනුත් ඕන තරම්.
ඇයි මේ තරම් මිනිස්සු වෙන ගෑනුවයි, ගෑනු වෙන මිනිස්සුන්වයි හොයන් යන්නේ? පිළිතුර හරි ම සරලයි.
තමුන් ගේ අවශ්‍යතාවයන් තමා ගේ සහකරුවා හෝ සහකාරියගෙන් නොලැබෙන කොට වෙන කෙනෙක් ලඟින් ඒ දේවල් ලබාගන්න යෑම සාමාන්‍යයි... ඒක මුල්‍යමය අවශ්‍යතාව ක් වෙන්න පුළුවන්, ලිංගික අවශ්‍යතාව ක්, නැත්තම් වෙනත් අවශ්‍යතාව ක් වෙන්නත් පුළුවන්. සමහර විට තමුන් ට ඇහුම්කන් දෙන කෙනෙක් ගේ අවශ්‍යතාව වෙන්නත් පුළුවන්.
තමන් ගේ සහකරුවා/සහකාරිය ගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න. එයාව හැම වෙලාවකම සතුටින් තියන්න බලන්න. හැම වෙලාවේම එයත් එක්ක සුහදව කතා කරන්න. ඇහුම්කන් දෙන්න. එයාව ඔයාගේ ජීවිතේ වැදගත් ම අංගය කරගන්න. ඒ බව එයට තේරුම් යන විදිහට වැඩ කරන්න.
එතකොට එයාට ඔයාව තරම් වෙනකෙනෙක් ව ඕනේ වෙන්නේ නැති වෙයි.
Subscribe to:
Posts (Atom)